අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන යුද්ධය තවත් සති කිහිපයකින් අවසන් විය හැකි බවට ඉඟි කිරීමත් සමඟ, අද (01) ආසියානු කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිබිදීමක් වාර්තා කළේය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ Kospi දර්ශකය 8.44%ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් කලාපයේ පෙරමුණ ගෙන තිබේ.
අමෙරිකාවට තවදුරටත් ඉරානයේ රැඳී සිටීමට අවශ්‍යතාවක් නොමැති බවත්, තවත් සති දෙක තුනකින් එරටින් ඉවත් විය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමට සමත් විය. මේ සමඟම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.8%කින් පහත වැටී ඩොලර් 98.56ක් ලෙස සටහන් විය.
ජපානයේ ‘Nikkei 225’ දර්ශකය 5.24%කින් ද, ඕස්ට්‍රේලියාවේ ‘S&P/ASX 200’ දර්ශකය 2.24%කින් ද ඉහළ ගියේය. ජපාන නිෂ්පාදන අංශයේ විශ්වාසය 2021 වසරෙන් පසු ඉහළම මට්ටමට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාවේ ‘Nifty 50’ සහ ‘Sensex’ දර්ශක ද 2%කට වඩා වැඩි වර්ධනයක් අද දිනයේ වාර්තා කළේය. ඉරාන ජනාධිපතිවරයා ද යුද්ධය අවසන් කිරීමට කැමැත්ත පළ කර ඇති බවට පළවන වාර්තා හේතුවෙන් ඉදිරි දිනවලදී වෙළෙඳපොළ තවදුරටත් ස්ථාවර වනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














