ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවමින් Asian Paints Causeway සමාගම, ඉතාලියේ ප්‍රමුඛතම ආයතනයක් වන Renner Italy සමඟ එක්ව ලොව දියුණුතම ජලය පදනම් කරගත් (water-based) දැව ආලේපන විසඳුම් පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
මෙම නවතම නිෂ්පාදන පෙළ නවීන දැවමය නිමාවන් සඳහා සුවිශේෂී වර්ණ ස්ථාවරත්වයක්, දිගුකාලීන පැවැත්මක් මෙන්ම ඉහළ පරිසර හිතකාමී බවක් ද එක් කරයි. ගෘහස්ථ (Indoor) මෙන්ම එළිමහන් (Outdoor) දැවමය නිර්මාණ සඳහා එකසේ භාවිත කළ හැකි මෙමඟින් මෙරට දැව ආලේපන ශිල්පීන්ට සහ පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිමාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
Asian Paints Causeway සමාගම සැමවිටම මෙරට පාරිභෝගිකයන්ට ලොව දියුණුතම තාක්ෂණය සහ තිරසාර විසඳුම් ලබා දීමට උත්සාහ කරන බවත්, ඉතාලියේ Renner සමාගම සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා මෙරට දැව ආලේපන ක්ෂේත්‍රය නව මාවතකට යොමු වනු ඇති බවත් සමාගමේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය. එසේම ලෝක මට්ටමේ ඉතාලි නවෝත්පාදනයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත්, ජලය පදනම් කරගත් මෙම නිෂ්පාදන සඳහා මෙරටින් ඉතා හොඳ ඉල්ලුමක් පවතින බව අලෙවි නියෝජිතයන් ලබා දුන් ප්‍රතිචාරවලින් පැහැදිලි වන බවත් Renner සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ මාර්කෝ මහතා සඳහන් කළේය.
සාම්ප්‍රදායික ආලේපනවලට වඩා වෙනස්ව මෙම නව නිෂ්පාදන පෙළ භාවිතයේදී හානිකර වායු විමෝචනය අවම වීම (Low VOC) සහ ඉතා ඉක්මනින් වියළීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි.














