2020 වසරේ සහකාර පොලිස් අධිකාරී (ASP) ධුර සඳහා පැවැත්වූ උසස්වීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 145 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීන්දු කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ දීර්ඝ විභාගයකින් අනතුරුවය. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට උසස්වීම් නොලැබුණු බවත්, සම්මුඛ පරීක්ෂණ ලකුණු වෙනස් කිරීම හරහා රාජ්‍ය සේවා කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් ලකුණු වෙනස් කිරීමට බලපෑ හේතු අධිකරණය හමුවේ පැහැදිලි කළ අතර එම කරුණු විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ක්‍රියාවලිය නීත්‍යානුකූල බව තීරණය කළේය. පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ තර්කවල නීතිමය පදනමක් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට ඔවුන් අසමත් වී ඇති බවත් විනිසුරු මඩුල්ල අවධාරණය කළහ. ඒ අනුව සහන ලබාදීමට සාධාරණ හේතු නොමැති බැවින් සියලු පෙත්සම් ගාස්තු රහිතව ඉවත දැමීමට අධිකරණය පියවර ගෙන තිබේ.















