ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි පිහිටි බෝධි ධම්ම විහාරයේ රෝපණය කර ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේ, අතිශය වැදගත්කමකින් යුතු වෘක්ෂයක් ලෙස ඔස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කර තිබේ. මීට වසර දෙකකට පෙර පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව විහාරස්ථානයේ රෝපණය කරන ලද මෙම බෝධීන් වහන්සේට හිමි වූ මෙම ගෞරවය එරට වසන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මහත් අභිමානයකි.
බෝධීන් වහන්සේ උරුම ලැයිස්තුවට එක් කිරීමේ සුවිශේෂී උත්සවය සඳහා අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළහ. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන්, ප්‍රාන්ත පාර්ලිමේන්තු කථානායක මාරී එඩ්වඩ්ස්, ජාතික උරුම කමිටුවේ සභාපතිනී කොලට් බ්‍රේනන් සහ බෙන්ඩිගෝ නගරාධිපති තෝමස් ප්‍රින්ස් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.
මීට සමගාමීව විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව ධර්ම ශාලාව සහ සර්වඥ ධාතු මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ පින්කම ද සිදු කෙරුණි. මෙම ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙන්ම විවිධ ජනවර්ග නියෝජනය කරමින් විශාල පිරිසක් බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයට රැස්ව සිටියහ.














