ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි කේගාරි දූපතේදී (කලින් ෆ්‍රේසර් දූපත ලෙස හැඳින්වූ) 19 හැවිරිදි කැනේඩියානු සංචාරක තරුණියක වන පයිපර් ජේම්ස් (Piper James) ඩින්ගෝ (Dingo) නමැති වල් සුනඛ විශේෂයකගේ ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව මරණ පරීක්ෂක වාර්තා සනාථ කර තිබේ. පසුගිය ජනවාරි 19 වැනිදා අලුයම වෙරළේ වැතිර සිටි ඇයගේ සිරුර වටා ඩින්ගෝ සුනඛයන් දස දෙනෙකු පමණ සිටිනු සොයාගත් අතර, මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ සුනඛ ප්‍රහාරය හේතුවෙන් සිදු වූ තුවාල සමඟ ඇය දියේ ගිලී මියගොස් ඇති බවයි.
මෙම බරපතල සිදුවීමෙන් පසු ඇයගේ සිරුර වටා සිටි සුනඛයන් දස දෙනාගෙන් හය දෙනෙකුම බලධාරීන් විසින් විනාශ කර (Euthanised) ඇති බව වාර්තා වේ. කේගාරි දූපතේ දැනට ඩින්ගෝ සුනඛයන් 200ක පමණ ප්‍රමාණයක් ජීවත් වන අතර, ඔවුන් ඕස්ට්‍රේලියානු නීතිය යටතේ ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස සැලකේ. මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දූපතේ ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ද බලධාරීන් අවධානය යොමු කර ඇත.














