ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නෝර්ත් ලේක්ස් (North Lakes) ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුට, ළමා අපචාර සම්බන්ධ වැරදි හතකට වරදකරු කරමින් වසර 15 ක සිරදඬුවමක් පසුගිය බදාදා (01) බ්‍රිස්බේන් මහාධිකරණය විසින් නියම කරන ලදී. ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) විසින් ලබාදෙන ලද රහසිගත තොරතුරකට අනුව 2024 ජුනි මාසයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොහු විසින් ළමා අපචාර සිදුකරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කර ඇති අතර, එම දර්ශන වෙනත් පුද්ගලයන් සමඟ බෙදාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ළමා අපචාර ඇතුළත් දර්ශන සහිත ජංගම දුරකථන සහ අනෙකුත් විද්‍යුත් උපකරණ පොලිසිය භාරයට ගෙන ඇත. මීට අමතරව මොහුට එරෙහිව පවුල් ප්රචණ්ඩත්වය සම්බන්ධ චෝදනා ද එල්ල වී ඇති අතර ඒවා දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
නියම කරන ලද වසර 15 ක සිරදඬුවමෙන් වසර 7 කුත් මාස 6 ක අවම කාලයක් මොහු අනිවාර්යයෙන්ම බන්ධනාගාරගතව සිටිය යුතු අතර, ඉන් පසුව පමණක් ඇප මත නිදහස් වීමට සුදුසුකම් ලබනු ඇත. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අණදෙන නිලධාරිනී ජොඈන් කැමරන් (Joanne Cameron) ප්‍රකාශ කළේ, අන්තර්ජාලය ඔස්සේ මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොලිසිය සතුව නවීන තාක්ෂණික ක්‍රමවේද පවතින බැවින් ඕනෑම අයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි බවයි.














