ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ උතුරු දෙසින් පිහිටි යුවින්ග්ස්ඩේල් (Ewingsdale) ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ගිනි අවි, පතරොම් සහ මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ. “Strike Force Cratus” නමින් නම් කර ඇති මෙම විශේෂ විමර්ශන ඒකකය විසින් උතුරු රිවර්ස් (Northern Rivers) කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය නිෂ්පාදන සහ ගිනි අවි ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙම වැටලීම සිදුකර ඇත.
පසුගිය අප්‍රේල් 01 වනදා කෙනඩි ලේන් (Kennedy’s Lane) හි පිහිටි දේපළක් පරීක්ෂා කිරීමේදී, අයිඩීන් පෙති අඩංගු ලීටර් 22 ක බහාලුම් තුනක් සහ මෙතිල්ඇම්පෙටමින් (Methylamphetamine) ලෙස සැක කෙරෙන ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව අප්‍රේල් 02 වනදා සිදුකළ දෙවන සෝදිසි කිරීමේදී රයිෆල් දෙකක්, පතොරම් තුවක්කුවක් (Shotgun) සහ පිස්තෝලයක් ඇතුළු ගිනි අවි හතරක් ද, සයිලන්සර් (Silencers) සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සහ කැරලි මර්දන ඒකකයේ සහාය ඇතිව සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් සියලුම භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති අතර, අදාළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා “Strike Force Cratus” යටතේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.















