අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය බලශක්ති කම්පනය ඉදිරි මාස කිහිපය පුරාම දැනෙනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) අද (01) ජාතිය අමතමින් අවධාරණය කළේය. සියයට 90ක්ම ආනයනික ඉන්ධන මත යැපෙන ඕස්ට්‍රේලියාව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා දැනටමත් ඉතිහාසයේ දරුණුතම ඉන්ධන මිල ඉහළ යාමට සහ ප්‍රාදේශීය වශයෙන් ඉන්ධන හිඟයකට මුහුණ දී සිටියි.
ඕස්ට්‍රේලියාව මෙම යුද්ධයේ සෘජු පාර්ශවකරුවෙකු නොවුණද, එහි ආර්ථික බලපෑම සෑම වැසියෙකුටම දැනෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සතියේ ආරම්භ වන පාස්කු නිවාඩු සමය (Easter Holidays) ඉලක්ක කරගනිමින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් නොකරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම රැකියාවට යාම සඳහා දුම්රිය, බස් හෝ ට්‍රෑම් රථ වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මාසයක් පුරා ඇදී යන මෙම මැදපෙරදිග ගැටුම නිසා ලෝක ආර්ථිකය දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියානු රජය සිය “ජාතික ඉන්ධන ආරක්ෂණ සැලැස්ම” මගින් ජනතාවට සහන සැලසීමට උපරිම උත්සාහයක් දරන බව ද ඔහු සඳහන් කළේය. මෙවැනි විශේෂ ජාතිය ඇමතීමක් මීට පෙර ඕස්ට්‍රේලියාවේ සිදුව ඇත්තේ කොවිඩ් වසංගතය සහ 2008 ගෝලීය මූල්‍ය අර්බුදය වැනි අතිශය තීරණාත්මක අවස්ථාවලදී පමණි.














