ලොව ඉහළම චර්ම පිළිකා (Skin Cancer) වාර්තා වන රටක් වන ඔස්ට්‍රේලියාවේ, හිරු ආවරණ ආලේපනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හමුවේ එම නිෂ්පාදන සඳහා නව දැඩි නීති මාලාවක් හඳුන්වා දීමට එරට චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) තීරණය කර තිබේ. පසුගිය වසරේ සිදු කළ පරීක්ෂණයකදී වෙළඳපොළේ පවතින ජනප්‍රිය සන්නාම රැසක් ඒවායේ සඳහන් කර ඇති සූර්ය ආරක්ෂණ සාධකය (SPF) සැබෑ ලෙසම ලබා නොදෙන බව හෙළි වීම මෙම තීරණයට හේතු විය.
පාරිභෝගික සුරැකීමේ සංවිධානයක් වන ‘Choice’ මගින් සිදු කළ පරීක්ෂාවකදී හෙළි වූයේ වෙළඳපොළේ තිබූ නිෂ්පාදන 20කින් 16ක්ම ඒවායේ ප්‍රකාශිත SPF මට්ටම සපුරා නොමැති බවයි. එක් අවස්ථාවකදී ‘SPF 50+’ ලෙස සඳහන් කර තිබූ ‘Ultra Violette’ නම් මිල අධික සන්නාමයක සැබෑ ආරක්ෂණ මට්ටම ‘SPF 4’ තරම් පහළ අගයක් ගෙන තිබූ අතර, ඒ හේතුවෙන් එම නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට ද පියවර ගැනුණි.
නව යෝජනාවලට අනුව, හිරු ආවරණ ආලේපන ලේබල් කිරීමේදී ‘SPF’ අංකය වෙනුවට ‘අඩු’, ‘මධ්‍යම’, ‘ඉහළ’ සහ ‘ඉතා ඉහළ’ (Low, Medium, High, Very High) යනුවෙන් සරලව සඳහන් කිරීමට යෝජනා වී ඇත. එසේම, මෙම නිෂ්පාදන පරීක්ෂා කරන විද්‍යාගාර සඳහා විශේෂ ප්‍රතීතනයක් ලබා ගැනීම ද අනිවාර්ය කිරීමට නියමිතය. වාර්ෂිකව පුද්ගලයින් 2,000ක් පමණ චර්ම පිළිකා නිසා මිය යන ඔස්ට්‍රේලියාවේ, මෙම නව නීති මගින් පාරිභෝගික විශ්වාසය නැවත ගොඩනැගීමට බලධාරීන් අපේක්ෂා කරයි.














