ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කර මාස දෙකක් ගත වී ඇතත්, එරට යෞවනයන්ගෙන් පහෙන් එකක් (20%) තවමත් TikTok සහ Snapchat වැනි වේදිකා භාවිතා කරන බව නවතම දත්ත වාර්තා හෙළි කරයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, දෙමාපිය පාලන මෘදුකාංග නිෂ්පාදකයෙකු වන Qustodio ආයතනය නිකුත් කළ දත්ත මගින් මෙම තහනම ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතාව පිළිබඳව ගැටලු මතු වී තිබේ. ඕස්ට්‍රේලියානු නීතියට අනුව, වයස අවුරුදු 16ට අඩු පුද්ගලයින් තම වේදිකාවලින් ඉවත් කිරීමට අපොහොසත් වන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් දක්වා දැවැන්ත දඩ මුදල් පැනවීමේ හැකියාව පවතී.
දත්තයන්ට අනුව, Snapchat භාවිතා කරන වයස අවුරුදු 13-15 අතර පිරිස 20.3% දක්වාත්, TikTok භාවිතා කරන්නන් 21.2% දක්වාත් සුළු වශයෙන් පහත වැටී ඇතත්, සැලකිය යුතු පිරිසක් තවමත් එම යෙදුම් භාවිතයේ නිරත වෙති. මීට අමතරව, YouTube භාවිතා කරන පිරිස 36.9%ක් වැනි ඉහළ අගයක පවතින අතර WhatsApp භාවිතයේ සුළු වැඩිවීමක් ද වාර්තා වේ. කෙසේ වෙතත්, නව යොවුන් වියේ පසුවන්නන් නියාමනය නොකළ වෙනත් අන්තරායකර වේදිකාවලට සංක්‍රමණය විය හැකි බවට පැවති බිය සැබෑ වී නොමැති වීම මෙම වාර්තාවේ දැක්වෙන සාධනීය කරුණකි.
සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීමේ ගෝලීය ප්‍රවණතාව මෙලෙස වර්ධනය වෙද්දී, යූටියුබ් (YouTube) ආයතනය ද දේශපාලනඥයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාව සුරැකීමට හා Deepfakes මර්දනයට නව තාක්ෂණික පියවර ගනිමින් සිටී. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීමට මෙවැනි තහනම් කිරීම් සහ නියාමනයන් ඉතා තීරණාත්මක වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














