ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වොලොන්ගොන්ග් (Wollongong) නගරයේ සිදුවූ වෙඩි තැබීමකදී 53 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඊයේ (05) පස්වරු 6:40ට පමණ කොරිමල් (Corrimal) ප්‍රදේශයේ ඇල්බට් වීදියේ පිහිටි නිවසකට කිහිප වතාවක්ම වෙඩි තබා ඇති බවට වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, අසල්වැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වාසනාවකට මෙන් කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදුවී නොමැත. සිද්ධිය වූ ස්ථානයේදීම සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහු සන්තකයේ තිබූ ලියාපදිංචි නොකළ ගිනි අවි සහ පතොරම් ද සොයාගෙන ඇත.
සැකකරුට එරෙහිව අනවසරයෙන් ගිනි අවි ළඟ තබා ගැනීම, අනාරක්ෂිත ලෙස ගිනි අවි භාවිතය සහ ආයුධ සන්නද්ධව නිවසකට ඇතුළු වීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ නඩු පවරා තිබේ. ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද (06) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














