පවතින ගැටලුකාරී තත්ත්වය අවසන් වන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ධීවර කටයුතු සඳහා යෑමෙන් වළකින්නැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ජාත්‍යන්තර මුහුදු සීමාව ආක්‍රමණය කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තුවේදී ඊයේ (05) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මීට දින හයකට පෙර කන්කසන්තුරේ මුහුදු සීමාවෙන් ඔබ්බට ගිය ධීවරයන් පිරිසක් ඉන්දියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවත්, ඔවුන් බේරාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලංකාව තුළ මිලියන 1.7ක පමණ ධීවර ප්‍රජාවක් සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණාත්මක අවස්ථාවේදී අතිශය අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.















