ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් තුමන් ඇතුළු විශේෂ දූත පිරිසක් පස්දින නිල සංචාරයක් සඳහා අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ප්‍රධාන පූජකතුමන් සමඟ තවත් ගිහි-පැවිදි 14 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස, නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 192 දරන ගුවන් යානයෙන් පෙරවරු 09:15 ට දිවයිනට ළඟා වූහ.
මෙම විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ “ගෝල්ඩ් රූට්” (Gold Route) විශේෂ මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ. මෙම සංචාරය දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පස්දින සංචාරය තුළදී මෙම දූත පිරිස දිවයිනේ ප්‍රකට ආගමික ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට සැලසුම් කර ඇත. මන්නාරම තිරුකේතීශ්වරම්, යාපනය නගුලේශ්වරම්, ත්‍රිකුණාමලය කෝනේශ්වරම් සහ නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ඔවුන්ගේ වන්දනා චාරිකාවේ ප්‍රධාන ස්ථාන වේ. මීට අමතරව පොළොන්නරුව ඓතිහාසික නටඹුන් සහිත ශිව කෝවිල් නැරඹීමට ද නියෝජිත පිරිස එක්වනු ඇත.
















