ශරීරය පසාරු කරගෙන ගිය යකඩ කූරක් හේතුවෙන් අතිශය බිහිසුණු අනතුරකට ලක්ව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායම විස්මිත සැත්කමක් සිදු කර තිබේ. මුරුංගා අත්තක් කැඩී කොන්ක්‍රීට් තාප්පයක් මතට ඇද වැටුණු මෙම පුද්ගලයාගේ උදරය හරහා තාප්පයේ තිබූ යකඩ කම්බියක් ඇණී ශරීරය පසාරු කරගෙන ගොස් තිබුණි. අනතුරෙන් පසු වහාම රෝහල් ගත කළ ඔහුව හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කෙරුණු අතර එහිදී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය අතිශය අවදානම් සහගත මෙහෙයුමක් දියත් කරන ලදී.
පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙම සංකීර්ණ සැත්කමේදී ශරීරය තුළ තිබූ යකඩ කූර කොටස් වශයෙන් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. වෛද්‍ය කණ්ඩායමේ කැපවීම සහ දක්ෂතාවය හේතුවෙන් කිසිදු අතුරු ආබාධයකින් තොරව යකඩ කූර ශරීරයෙන් ඉවත් කර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී ඇත. බදුල්ල මහ රෝහලේ ඉතිහාසයට එක්වන මෙම සුවිශේෂී සැත්කම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ.














