බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ අතිශය සංකීර්ණ හා විස්මිත සැත්කමකින්, සිරුර පසාරු කරගෙන ගිය යකඩ කූරක් ඉවත් කර 37 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබේ. මුරුංගා අත්තක් කැඩී කොන්ක්‍රීට් තාප්පයක් මතට ඇද වැටුණු මෙම පුද්ගලයාගේ උදරය හරහා යකඩ කම්බියක් ඇණී සිරුර පසාරු කරගෙන ගොස් තිබූ අතර, ඔහු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මෙම අසීරු සැත්කම මෙහෙයවා තිබේ. එහිදී සිරුරේ ඇණී තිබූ යකඩ කූර කොටස් වශයෙන් ඉතා ප්‍රවේශමෙන් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගත් අතර, දීර්ඝ වේලාවක් පුරා සිදුකළ එම මෙහෙයුම සාර්ථක වී ඇත.
වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම මත කිසිදු අතුරු ආබාධයකින් තොරව අදාළ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. අනතුරට පත් පුද්ගලයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.














