බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයේ 7 කණුව, වැල්ගොල්ල හන්දිය ආසන්නයේදී පෙරේදා (07) අලුයම 3:30ට පමණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ගියරය ලිහිල් වී (Neutral) පාලනයෙන් ගිලිහී පසුපසට ධාවනය වීම මෙම අනතුරට හේතු වී ඇති බව වාර්තා වේ.
අලුයම කාලයේදී සිදුවූ මෙම අනතුරින් ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල වූ ප්‍රපාතයකට පෙරළීමට ගොස් නතර වී ඇති අතර, වාසනාවකට මෙන් එම අවස්ථාවේදී මාර්ගයේ වෙනත් වාහන හෝ පදිකයින් නොසිටීම නිසා විශාල විනාශයක් වැළකී ගොස් තිබේ. අනතුරින් ලොරි රථයේ රියදුරාට සහ සහායකයාට සුළු තුවාල සිදුව ඇති අතර ඔවුන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
කඳුකර මාර්ගවල ධාවනය කිරීමේදී වාහනවල කාර්මික දෝෂ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම බෑවුම් සහිත මාර්ගවලදී තිරිංග සහ ගියර් පද්ධතියේ නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. බදුල්ල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, ලොරි රථය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් පවතියි.














