බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් වසම්වල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (11) සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ. බගවන්තලාව පොලිසිය විසින් චැපල්ටන් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අවුරුදු 38, 42 සහ 58 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මැණික් ගැරීමට භාවිත කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර මස්කෙළිය පොලිස් වසමේ මින්සිලෑන්ඩ්වත්ත ප්‍රදේශයේදී සිදු කළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබූ මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බගවන්තලාව සහ මස්කෙළිය යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නීතිවිරෝධී පතල් කැණීම් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට ද දැඩි හානි සිදුව ඇති බවට වාර්තා වේ.














