ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඉරාක ජාතික බුද්ධි සේවා (INIS) මූලස්ථානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ බිහිසුණු ඩ්‍රෝන ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 10:00 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බුද්ධි අංශ මූලස්ථානයේ සන්නිවේදන ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇති බව ආරක්ෂක මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ජෙනරාල් සාද් මාන් සඳහන් කළේය. අදාළ ගොඩනැගිල්ල ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇමරිකානු උපදේශකයින් සමඟ සමීපව කටයුතු කරන මධ්‍යස්ථානයක් බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














