ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් ලෙස සැලකෙන බහරේනයේ පිහිටි ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් සිදුවූ දේපළ හානිය පිළිබඳව සමාගම මේ වන විට ගණන් බලමින් සිටින අතර, සිය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛතම වගකීම බව ඔවුන් අවධාරණය කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇති වූ බාධාකාරී තත්ත්වය හමුවේ, තම නිෂ්පාදන ධාරිතාවයෙන් 19%ක් පමණ දැනටමත් නතර කර ඇති බව සමාගම මීට පෙර නිවේදනය කර තිබුණි.
ඉරාන විප්ලවීය හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ වානේ කර්මාන්ත ශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇලුමිනියම් කර්මාන්ත ශාලා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කළ බවයි. කලාපීය යුද උණුසුම කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය කරා ද ව්‍යාප්ත වීම ලෝක ආර්ථිකයට දැඩි තර්ජනයක් වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.














