ඉරානයෙන් එල්ල වන අඛණ්ඩ ප්‍රහාර හමුවේ සිය වෙරළ තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බහරේනය විසින් “මීළඟ දැනුම්දීම තෙක්” ක්‍රියාත්මක වන පරිදි විශේෂ මුහුදු ගමන් තහනමක් ප්‍රකාශයට පත් කර තිබේ. බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අද (29) ප්‍රකාශ කළේ, මසුන් ඇල්ලීමේ සහ විනෝද කටයුතු සඳහා යොදා ගන්නා යාත්‍රා සඳහා දිනපතා පස්වරු 6.00 සිට පසුදින අලුයම 4.00 දක්වා මෙම තහනම බලපැවැත්වෙන බවයි.
බහරේන රජය පෙන්වා දෙන්නේ “ඉරානයේ අතිශය ප්‍රකෝපකාරී ආක්‍රමණශීලී හැසිරීම” හේතුවෙන් එරට පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවදානමක් මතුව ඇති බැවින් මෙම පියවර ගත් බවයි. මෙම නව නීතිරීති උල්ලංඝනය කරමින් වෙරළ සීමාවට ළඟා වන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට ද අමාත්‍යාංශය අනතුරු අඟවා සිටියි.
ගල්ෆ් කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදු ගමන් සහ තෙල් ප්‍රවාහන මාර්ගවලට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බහරේනය වැනි කලාපීය රාජ්‍යයන් මෙලෙස දැඩි ආරක්ෂක උපක්‍රම වෙත යොමුවීම මැදපෙරදිග අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවට සලකුණකි.














