හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වාණිජ නාවික ප්‍රවාහනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය “සියලු ආරක්ෂිත ක්‍රමවේද” (All defensive means) භාවිතා කිරීමට අවසර ඉල්ලා බහරේනය ඉදිරිපත් කළ යෝජනාවකට එරෙහිව චීනය සිය විරෝධය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු වන චීනය පවසා ඇත්තේ, බලය භාවිතා කිරීමට අවසර දීමෙන් පවතින යුදමය තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.
පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය මාසයකට වැඩි කාලයක් තිස්සේ අවහිර වී පවතී. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
බහරේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (04) සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත්, චීනය සිය නිෂේධ බලය (Veto power) භාවිතා කර මෙම යෝජනාව පරාජය කරනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවේ.













