හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහාම මැදිහත් විය යුතු බවට බහරේනය කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අද (06) සිය සහයෝගය පළ කළේය. මෙය තවදුරටත් කලාපීය ගැටලුවක් පමණක් නොව, ගෝලීය ස්ථාවරත්වයට, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වූ සෘජු තර්ජනයක් බව බහරේන විදේශ අමාත්‍ය අබ්දුල්ලතීෆ් බින් රෂීඩ් අල්-සයානි මහතා අවධාරණය කරයි.
බටහිර ආසියානු කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය අවහිර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බහරේනය විසින් විශේෂ කෙටුම්පතක් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ආරක්ෂිත නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා “අවශ්‍ය සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග” ගැනීමට සාමාජික රටවලට අවසර ලබා දෙන ලෙස එමගින් ඉල්ලා සිටින අතර, ඒ පිළිබඳ ඡන්ද විමසීම එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතය.
මෙම මුහුදු මාර්ගය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළට බලශක්ති සැපයුම අඩාල වී ඇති අතර, ඒ හරහා දැඩි මානුෂීය සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ද විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම දකුණු අර්ධගෝලයේ රටවල් (Global South) මෙහි දරුණුතම ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.














