2026 වසරේ බක් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (01) දිනයේ දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ දාන, ශීල, භාවනා ඇතුළු පින්කම් රැසක් සංවිධානය කර තිබේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑ රදුන් සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටිති. දිවයින පුරා පැවැත්වෙන සුවිශේෂී පින්කම් අතර විලිඹුල පුවක්පිටිය ශ්‍රී සුගත බිම්බාරාමයේ ප්‍රතිසංස්කරණය කළ ධර්ම ශාලාව සහ අභිනව ධාතු මන්දිරය විවෘත කෙරුණු අතර එහි අප්‍රේල් 05 වනදා දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
හිඳගල මහකන්ද ඉරුගල්බෝධි විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර කෑගල්ල තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ නව ධාතු මන්දිරය අස්ගිරි සහ මල්වතු යන උභය පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මාතර තොටුමුණ ජයමග විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර සමාජ සත්කාරයක් ලෙස රත්නපුර බෝධිරාජාරාම විහාරස්ථානයේදී 81 වන වරටත් ගැබිනි මව්වරුන් සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වියළි ආහාර මලු 687ක් බෙදාදීමේ පින්කමක් පැවැත්විණි. මීට අමතරව බෙල්ලන්විල රජමහා විහාරය, පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන සහ වාද්දුව මහිගර්ජනාරාමය ඇතුළු විහාරස්ථාන රැසක විශේෂ පූජාවන් පැවැත්වුණු අතර පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඉතාලි ධර්ම දූත සංචාරය ද මේ දිනවල ක්‍රියාත්මක වේ.














