ඉරාන ජනතාව තමන්ට එරට ඊළඟ උත්තරීතර නායකයා (Supreme Leader) වන ලෙස ආරාධනා කළ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊයේ (2026 මාර්තු 25) වොෂින්ටන් නුවර පැවැති රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස් කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අමුතු ප්‍රකාශය සිදු කළේය. “ඉරාන වැසියන් මගෙන් අහනවා ඔබට අපේ මීළඟ උත්තරීතර නායකයා වෙන්න පුළුවන්ද කියලා. මම ඔවුන්ට කිව්වා ‘එපා ස්තූතියි, මට ඒක අවශ්‍ය නැහැ’ කියලා,” යනුවෙන් ට්‍රම්ප් එහිදී සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශය නිකුත් වන්නේ මැදපෙරදිග යුද්ධය තාවකාලිකව නැවැත්වීම සඳහා ඇමරිකාව විසින් පාකිස්ථානය හරහා ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලසුම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකය. ඇමරිකානු රජය ඉරානය සමඟ “ඵලදායී සාකච්ඡා” පවත්වන බව ප්‍රකාශ කළද, ටෙහෙරාන් පාලනය පවසන්නේ තමන් ඇමරිකාව සමඟ කිසිදු සෘජු හෝ වක්‍ර සාකච්ඡාවකට එක්ව නොමැති බවයි.
ඉරානයේ මීළඟ නායකයා ලෙස කවුරුන් පත් විය යුතුද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයෙකු ඉරානයේ නායකයා වීමට අකමැති වනු ඇති බවයි. පෙබරවාරි 28 වනදා එල්ල වූ ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු ඉරානයේ නායකත්වය පිළිබඳව පවතින දැඩි අර්බුදය හමුවේ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය දේශපාලන විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.














