පිරිසිදු ශ්‍රී ලංකා ‘සිහිනයක ගමනාන්තය’ (Dream Destination) වැඩසටහන යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අද (19) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 60ක මූල්‍ය පිරිවැයක් දැරීමට දාවුඩි බෝරා (Dawoodi Bohra) ප්‍රජාව ඉදිරිපත් වී ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු Amic Engineering පෞද්ගලික සමාගම විසින් සිදු කරනු ලබයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ පිරිසිදු ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරනු ලැබේ.
දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ පුළුල් සැලැස්මේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මාස පහක් ඇතුළත අවසන් කිරීමට නියමිතය. මෙහිදී දුම්රිය වේදිකා සංවර්ධනය කිරීම, නව ආලෝක පද්ධති සහ සී.සී.ටී.වී (CCTV) කැමරා පද්ධති ස්ථාපනය කිරීම, වැසිකිළි සහ අසුන් පැනවීමේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. මීට අමතරව, දැනට අබලන් වී ඇති පඩිපෙළවල් ශක්තිමත් කිරීම සහ දුම්රිය ස්ථානයේ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.
පසුගිය වසරේ ගාල්ල-තල්පේ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ මේ වන විට නාරාහේන්පිට, දෙහිවල, පොළොන්නරුව, මහනුවර, සරසවි උයන සහ මරදාන යන දුම්රිය ස්ථාන ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නවීකරණය වෙමින් පවතී. මගීන් සඳහා පිරිසිදු, උසස් තත්ත්වයේ සහ සුවපහසු දුම්රිය සේවාවක් ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය වීමත් සමඟ කොළඹ නගරයට පැමිණෙන දෛනික දුම්රිය මගීන්ට ඉතා ඉහළ මට්ටමේ පහසුකම් රැසක් හිමි වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.














