බංග්ලාදේශයේ 13 වන මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (12) පස්වරුවේ සාමකාමී අයුරින් අවසන් විය. 2024 වසරේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ ෂෙයික් හසීනාගේ 15 වසරක පාලනය බිඳ වැටීමෙන් පසු, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ පවත්වනු ලැබූ පළමු මහ මැතිවරණය මෙය වීම විශේෂත්වයකි. මැතිවරණ කොට්ඨාස 299ක් පුරා පැවති මෙම ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් මිලියන 127 ක් පමණ සුදුසුකම් ලබා සිටියහ. මෙවර මැතිවරණය ඉතා සාමකාමී ලෙස පැවති බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධානී සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා තහවුරු කළේය.














