බංග්ලාදේශයේ කොක්ස් බසාර් (Cox’s Bazar) සහ චිතගොං (Chittagong) ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන රොහින්ග්‍යා සටන්කාමී කණ්ඩායම් වෙත අවි ආයුධ සැපයෙන බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. මෙම තත්ත්වය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවල ආරක්ෂාවට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අද (22) නිකුත් වූ වාර්තා පෙන්වා දෙයි.
බංග්ලාදේශයේ අලුතින් පත් වූ තාරික් රහ්මාන්ගේ (Tarique Rahman) රජයට සම්බන්ධ බලවත් පාර්ශවයන් විසින් මෙම සන්නද්ධ කණ්ඩායම් වෙත අවි සහ පතොරම් ලබාදෙන බවට සැක කෙරේ. විශේෂයෙන්ම බංග්ලාදේශයේ නව විදේශ අමාත්‍ය ඛලීලුර් රහ්මාන් (Khalilur Rahman) මහතා කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත. ඔහු මීට පෙර මුහම්මද් යුනුස්ගේ අන්තර්වාර රජයේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ අතර ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා පවත්වන අයෙකු ලෙස සැලකේ.
බංග්ලාදේශයේ සිදුවූ දේශපාලන පෙරළිය සහ ෂෙයික් හසීනා රජය ඉවත් කිරීම පිටුපස බාහිර බලපෑම් පවතින බවට බුද්ධි අංශ විශ්වාස කරයි. චිතගොං කඳුකර ප්‍රදේශයේ (CHT) රොහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් සක්‍රීය වීම ඉන්දීය දේශසීමා ආරක්ෂාවට විශාල අභියෝගයක් වනු ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරයි.














