බංග්ලාදේශ තරුණ නායක ෂරීෆ් ඔස්මාන් හදීගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට අනවසරයෙන් ඉන්දියාවට ඇතුළු වීමට උපකාර කළ බංග්ලාදේශ ජාතිකයෙකු බටහිර බෙංගාල විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිලිප් සංමා නම් මෙම පුද්ගලයා සෙනසුරාදා උදෑසන නාඩියා දිස්ත්‍රික්කයේ ශාන්තිපූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බංග්ලාදේශ – ඉන්දියා දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස පුද්ගලයන් එතෙර කරන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරන්නෙකු බව හෙළි වී ඇත.
මීට සතියකට පෙර හදී ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන ෆයිසාල් කරීම් මසූද් සහ අලම්ගීර් හුසේන් යන බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා ද බටහිර බෙංගාලයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මේ මස මුලදී මේඝාලය දේශසීමාව හරහා තමන්ට ඉන්දියාවට පැන යාමට පිලිප් සංමා නමැත්තා මුදලට උදව් කළ බවයි. ඉන් අනතුරුව පිලිප් ද නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටියදී මෙලෙස පොලිස් දැලට හසු වී තිබේ.














