බංග්ලාදේශ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් එරට අත්අඩංගුවට ගෙන මාස අටක් තිස්සේ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු නිදහස් කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2025 වසරේ ජූලි මාසයේදී බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය මෙම පිරිස බංග්ලාදේශ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔවුන් චිතගොං මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබා නීතිමය කටයුතු සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවේ පසුවූයේ වයස අවුරුදු 23, 27, 38, 40, 46 සහ 58 යන වයස්වල පසුවන ධීවරයන් පිරිසකි. මෙම ධීවරයන් මාස ගණනාවක් සිරගතව සිටීම හේතුවෙන් මෙරට සිටින ඔවුන්ගේ පවුල් දැඩි අසීරුතාවයට පත්ව සිටි අතර ඥාතීන් කළ ඉල්ලීම්වලට අනුව ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ඔවුන්ව ඊයේ (මාර්තු 31) නිදහස් කර ඇත.
නිදහස් වූ ධීවරයන් පිරිස අද (අප්‍රේල් 1) ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ඔවුන් හෙට (අප්‍රේල් 2) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යළි මෙරටට පැමිණීමට නියමිතව තිබේ.














