දෙවන වරටත් ඇමරිකානු ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය විසින් හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට එරෙහිව දැඩි චෝදනා එල්ල කරමින් සිටින අතර, ඒ හේතුවෙන් ඔබාමා අත්අඩංගුවට ගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) විසින් රහස්‍ය ලේඛන කිහිපයක් ප්‍රසිද්ධියට පත් කරමින් කියා සිටින්නේ, 2016 මැතිවරණ සමයේදී ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ ‘රුසියානු සම්බන්ධතා’ පිළිබඳ චෝදනා ඔබාමාගේ මෙහෙයවීමෙන් සිදු වූ කුමන්ත්‍රණයක් බවයි.
මෙම හෙළිදරව්වත් සමඟ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් සහ තුල්සි ගැබාර්ඩ් යන මහත්මීන් ඔබාමාගේ මෙම ක්‍රියාව “රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්” (Treasonous Conspiracy) ලෙස හඳුන්වා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප්ගේ ‘MAGA’ පාක්ෂිකයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබාමා වහාම අත්අඩංගුවට ගත යුතු බවට බල කරමින් සිටින අතර, ඔහු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවට ද ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටිති.
කෙසේ වෙතත්, මේ දක්වා බැරැක් ඔබාමා අත්අඩංගුවට ගැනීමක් හෝ ඔහුට එරෙහිව නිල වශයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව තහවුරු වේ. ඔබාමා සහ මිෂෙල් ඔබාමා අපහසුතාවයට පත්වන අයුරින් ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ඇතැම් වීඩියෝ දර්ශන ජාතිවාදී ස්වරූපයක් ගන්නා බව පවසමින් මානව හිමිකම් සංවිධාන සහ විපක්ෂය සිය විරෝධය පළ කර තිබේ. මෙම දේශපාලන උණුසුම හමුවේ ඉදිරි දිනවලදී මේ පිළිබඳව තවදුරටත් දැඩි විවාදයන් ඇති වීමට ඉඩ ඇත.














