නවදිල්ලියේ පැවැති ‘රයිසිනා සංවාදය’ අතරතුර ඉන්දීය සාගරයේ අනාගතය පිළිබඳ පැවැති සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා සිය අදහස් පළ කර තිබේ. ජාත්‍යන්තර මට්ටමේ මෙවැනි වැදගත් වේදිකාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පිරිස් මීට වඩා හොඳින් සූදානම් විය යුතු බවත්, ඔවුන්ට අවශ්‍ය පසුබිම් තොරතුරු ලබාදීම බලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු අවධාරණය කරයි.
රජීව් අමරසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. අදාළ සාකච්ඡාවේදී ඉරාන නෞකා දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු විය හැකි බව කල්තියා උපකල්පනය කළ හැකිව තිබූ බවත්, ඒ සඳහා මීට වඩා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ පිළිතුරක් ලබාදීමට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි. අමාත්‍යවරුන් සෑම විටම විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයන් නොවිය හැකි වුවද, විදේශ අමාත්‍යාංශය සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ඔවුන්ව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දිය හැකි පරිදි සූදානම් කළ යුතු බව ඔහු පවසයි.
ලොව පුරා සිටින බලගතු නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ විශ්ලේෂකයන් 600කට අධික පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය නීතිය, මූලධර්ම සහ රටේ යහපත මත පදනම් වන බව පැවසීමෙන් වඩාත් යහපත් ප්‍රතිචාරයක් ලබාගත හැකිව තිබූ බව ඔහුගේ අදහසයි. මෙම සිදුවීමෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතයේදී ජාත්‍යන්තර වේදිකාවල පෙනී සිටින නියෝජිතයන්ට උපරිම සහාය සහ මගපෙන්වීම ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.













