මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයිත්තමලේ, උන්නිච්චිය ප්‍රදේශයේදී අද (01) අලුයම සිදු වූ වනඅලි ප්‍රහාරයකින් 69 හැවිරිදි ගොවියෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. මියගොස් ඇත්තේ වවුනතිව්, කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි අයියාදුදොරේ කන්දසාමි නමැති අයෙකි.
මියගිය පුද්ගලයා උන්නිච්චිය, සිප්පිමඩු පාර අසල පිහිටි කුඹුරු ඉඩමක රැකවල් සඳහා පැලක රැඳී සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ. අසල කුඹුරු හිමිකරුවෙකු විසින් සිද්ධිය දැක ආයිත්තමලේ පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත විමලදාස මහතාගේ උපදෙස් පරිදි, මියගිය පුද්ගලයා වෙනුවෙන් කඩිනමින් වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස වනජීවී නිලධාරීන්ට දන්වා තිබේ. ප්‍රදේශයේ වනඅලි තර්ජනය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.














