ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් 2026 TATA ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පළමු අදියරට අදාළ කාලසටහන අද (11) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මාර්තු 28 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා කාලය තුළ මෙම පළමු අදියරේ තරග පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් සමස්ත තරගාවලියේම කාලසටහන ඉදිරියේදී මැතිවරණ දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නිකුත් කිරීමට නියමිතව තිබේ.
ලොව විශාලතම විස්සයි-20 ලීගයේ 19 වන අදියර ආරම්භ කරමින් මාර්තු 28 වනදා වත්මන් ශූර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායම බැංගලෝර්හිදී එකිනෙකා හමුවනු ඇත. පළමු අදියරේදී තරග 20ක් ක්‍රීඩාංගණ 10කදී පැවැත්වෙන අතර, මීට ‘Double-headers’ හෙවත් දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන දින හතරක් ද ඇතුළත් වේ. මෙවර බැංගලෝර් කණ්ඩායම සිය නිවහන ලෙස බැංගලෝර් සහ රායිපූර් යන ක්‍රීඩාංගණ ද, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නව චන්දිගාර් සහ ධරම්ශාලා ක්‍රීඩාංගණ ද භාවිතා කිරීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, බැංගලෝර්හි පැවැත්වීමට නියමිත තරග සඳහා එරට රජයේ විශේෂ කමිටුවක අනුමැතිය හිමිවිය යුතු අතර, ඒ සඳහා වන විශේෂ නිරීක්ෂණයක් සහ පෙර පුහුණු වැඩසටහනක් මාර්තු 13 වනදා පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියේ මුල් සති කිහිපය තුළ මුම්බායි ඉන්ඩියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් වැනි ප්‍රබල කණ්ඩායම් අතර තීරණාත්මක තරග රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.














