ලෙබනනයේ බීරූට් (Beirut) අගනුවර ඉලක්ක කර ගනිමින් ඊයේ (01) ඊශ්‍රායලය එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ හමුදා අණදෙන නිලධාරියෙකු වන යූසෙෆ් හෂේම් (Youssef Hashem) ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බීරූට් නුවර ජ්නා (Jnah) ප්‍රදේශයේ පිහිටි ජනාකීර්ණ ස්ථානයක පැවැති සාකච්ඡාවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය යුද්ධය ආරම්භ වූ දින සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකේ.
ඊශ්‍රායල හමුදාව පවසන පරිදි යූසෙෆ් හෂේම් ලෙබනනයේ දකුණු පෙරමුණේ හමුදා කටයුතු මෙහෙයවූ ප්‍රධානියා වන අතර, ඔහු ඉරාකයේ හිස්බුල්ලා හමුදා කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දැරූ අයෙකි. මොහොමඩ් බාකිර් අල්-නබුල්සි නමැති තවත් සාමාජිකයෙකු ද මෙහිදී මියගිය බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කර ඇත. ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම ගැටුම උත්සන්න විය.
ප්‍රහාරය හේතුවෙන් බීරූට් අගනුවර මහල් නිවාස සහ වෙළඳසැල් රැසකට හානි සිදුවී ඇති අතර, ලෙබනන බලධාරීන් පවසන්නේ යුද්ධය නිසා මිලියනයකට අධික පිරිසක් මේ වන විටත් අවතැන් වී ඇති බවයි. බොහෝ පිරිසක් අවතැන්ව එළිමහනේ රාත්‍රිය ගත කරන බව වාර්තා වේ. මෙම ප්‍රහාරයට පෙර දින (31) දකුණු බීරූට්හි කාර් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් දෙදෙනෙකු මියගිය අතර, වත්මන් යුදමය වාතාවරණය හමුවේ ලෙබනනය පුරා දැඩි භීතියක් සහ අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී තිබේ.














