ප්‍රසිද්ධ ‘Game of Thrones’ කතා මාලාව හරහා සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ දක්ෂතා දැක්වූ බෙල්ෆාස්ට්හි උපන් නළු මයිකල් පැට්‍රික් (Michael Patrick) වයස අවුරුදු 35 දී අභාවප්‍රාප්ත වී තිබේ. මෝටර් නියුරෝන් රෝගය (Motor Neuron Disease – MND) සමඟ වසරකට වැඩි කාලයක් සටන් කළ ඔහු, පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 07) උතුරු අයර්ලන්තයේ සත්කාරක මධ්‍යස්ථානයකදී (Hospice) අවසන් හුස්ම හෙළූ බව වාර්තා වේ.
මයිකල් පැට්‍රික් හට මෙම රෝගය වැළඳී ඇති බව හඳුනාගනු ලැබුවේ 2023 පෙබරවාරි මාසයේදීය. රෝගී තත්ත්වය උත්සන්න වුවද, තම ජීවිතයේ අවසන් කාලය රෝහල්වලින් බැහැරව ගත කිරීමේ අරමුණින් කෘතිමව හුස්ම ගැනීමට උපකාර වන සැත්කමක් (Tracheotomy) සිදු නොකිරීමට ඔහු තීරණය කර තිබුණි. විශේෂත්වය වන්නේ මයිකල් කුඩා දරුවෙකු ලෙස සිටියදී ඔහුගේ පියා ද මියගොස් ඇත්තේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් වීමයි.
ඔහුගේ බිරිඳ වන නයෝමි පවසා සිටියේ තම ස්වාමිපුරුෂයා පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් මැද ඉතා සාමකාමීව මෙලොව හැර ගිය බවයි. මයිකල් පැට්‍රික් සිය ජීවිතයට මහත් ආදර්ශයක් සැපයූ දිරිය පුද්ගලයෙකු බව ඇය වැඩිදුරටත් සිහිපත් කළාය.














