බෙල්ජියම තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වීම හේතුවෙන් එරට සමාජ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් එය ක්‍රමයෙන් ‘මත්ද්‍රව්‍ය රාජ්‍යයක්’ (Narco-state) බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පිරිසක් අනතුරු අඟවති. ඇන්ට්වර්ප් අභියාචනාධිකරණයේ සභාපති බාර්ට් විලොක්ස් පෙන්වා දෙන්නේ යුරෝපයට කොකේන් ඇතුළු කරන ප්‍රධාන දොරටුවක් වන ඇන්ට්වර්ප් වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මාෆියා කල්ලි සමාජය තුළ සමාන්තර බලවේගයක් ලෙස හිස ඔසවමින් පවතින බවයි. ජාවාරම්කරුවන් සතු අධික මුදල් බලය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන් දූෂණය කිරීම සහ අල්ලස් ලබා දීම හරහා අධිකරණ පද්ධතියට සහ පොලිසියට පවා අභියෝග කිරීමට ඔවුන් සමත්ව ඇති බව විනිසුරුවරු පවසති. මෙම තත්ත්වය කෙතරම් දරුණුද යත් සමහර විනිසුරුවරුන්ට සහ නීති නිලධාරීන්ට ජාවාරම්කරුවන්ගෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙන් රහසිගත ආරක්ෂිත නිවාසවල ජීවත් වීමට පවා සිදුව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව හෙළි වූ තොරතුරුවලට අනුව ඔවුන් අවුරුදු 13 තරම් කුඩා දරුවන්ට මුදල් ලබා දී වරායට ඇතුළු කර මත්ද්‍රව්‍ය සොරකම් කිරීමට කටයුතු කරයි. එමෙන්ම වරාය සේවකයන්ට සහ ඔවුන්ගේ දරුවන්ට හානි කරන බව පවසමින් ලිපි සහ ඡායාරූප යවා බිය ගැන්වීම් සිදු කරන අතර එක් බහලුමක් මාරු කිරීම සඳහා වරාය සේවකයෙකුට යුරෝ 250,000කට අධික අල්ලස් මුදල් ලබා දුන් අවස්ථා ද වාර්තා වේ. බෙල්ජියම් රජය මේ සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට පොරොන්දු වී ඇතත් දශක ගණනාවක සිට පවතින අඩු අරමුදල් සහ බන්ධනාගාර තදබදය වැනි ගැටලු නිසා අධිකරණ පද්ධතිය බිඳ වැටීමේ අද්දර පවතින බව විනිසුරුවරුන්ගේ මතයයි. 2021 වසරේදී ජාවාරම්කරුවන්ගේ ‘Sky ECC’ රහස් පණිවිඩ ජාලය බිඳ දැමීමෙන් පසු මේ දක්වා පුද්ගලයන් 1,206 දෙනෙකු වරදකරුවන් කර ඇති අතර තවත් සැකකරුවන් 5,000ක් පමණ හඳුනාගෙන තිබේ.














