මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වසා දමා තිබූ ඊශ්‍රායලයේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන ටෙල් අවිව් හි බෙන් ගුරියන් (Ben Gurion) ගුවන්තොටුපොළේ මෙහෙයුම් හෙට (04) රාත්‍රියේ සිට අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පසුගිය සෙනසුරාදා ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර ආරම්භ වීමත් සමඟ එරට ගුවන් සීමාව මුළුමනින්ම වසා දැමුණු අතර, මේ හේතුවෙන් ලක්ෂයකට අධික ඊශ්‍රායල ජාතිකයන් විදේශයන්හි අතරමංව සිටින බව වාර්තා වේ.
ගුවන්තොටුපොළ බලධාරීන් නිකුත් කළ නිවේදනයකට අනුව, පළමු අදියරේදී පැයකට එක් මගී ගුවන් යානයක් පමණක් ගොඩබෑමට අවසර ලබා දෙන අතර පසුව එය පැයකට යානා දෙකක් දක්වා වැඩි කිරීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම තීරණය පවතින ආරක්ෂක තත්ත්වය මත ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව ද ඔවුහු අවධාරණය කරති. මේ අතර, කලාපීය ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ද අද දිනය වන විට මැදපෙරදිග බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් වාර 200කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති බව මෙරට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තහවුරු කළේය.














