අන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිටින සිය සුළුපියගෙන් එල්ල වූ ලිංගික අපයෝජනයන්ගෙන් බේරීම සඳහා නිවසින් පලාගිය 17 හැවිරිදි දැරියක්, ඔඩිෂා ප්‍රාන්තයේ බෙර්හැම්පූර් (Berhampur) නගරයේදී මත්ද්‍රව්‍ය ලබාදී සමූහ දූෂණයකට ලක් කර ඇති බව එරට පොලිසිය අද (01) අනාවරණය කළේය.
අන්ධ්‍රා ප්‍රදේශ්හි කඩපා (Kadapa) දිස්ත්‍රික්කයේ පදිංචි මෙම දැරිය, සිය පියාගේ මරණයෙන් පසු මව විවාහ කරගත් සුළුපියාගෙන් එල්ල වූ ලිංගික හිරිහැර දරාගත නොහැකිව පසුගිය මාර්තු 24 වන දින දුම්රියෙන් පලා විත් තිබේ. බෙර්හැම්පූර් දුම්රිය ස්ථානයට පැමිණි ඇය එහි තේ කඩයක රැකියාවක් කරමින් සිටියදී හඳුනාගත් තරුණයෙකු මාර්තු 29 වන දින ඇයව සිය මිතුරන් හමුවීමට රැගෙන ගොස් ඇත.
එහිදී ඇයට ලබා දුන් පානයකට මත්ද්‍රව්‍ය මිශ්‍ර කර සිහි නැති කර ඇති අතර, අනතුරුව වයස අවුරුදු 23 සහ 19 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු විසින් ඇයව දූෂණය කර තිබේ. මෙම සිදුවීමට සහාය වූ 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ සුළුපියාට එරෙහිව ද අන්ධ්‍රා ප්‍රදේශ් පොලිසියේ නඩුවක් ගොනු කර ඇති අතර, ඇයව ආරක්ෂිතව මුදා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.














