ජර්මනියේ බර්ලින් අගනුවර වාර්ෂිකව පවත්වනු ලබන චෙරි මල් උළෙල (Cherry Blossom Festival) මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව වාර්තා වේ. පසුගිය සති අන්තයේ බර්ලින්හි ‘ලෝක උද්‍යානය’ (Gärten der Welt) කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම උළෙල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
ජපන්, චීන සහ කොරියානු උද්‍යාන ආශ්‍රිතව විවිධ නර්තන හා සංගීත ප්‍රසංග, අත්කම් නිර්මාණ ප්‍රදර්ශන සහ සාම්ප්‍රදායික ආහාර පාන ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. විශේෂයෙන්ම මන්ගා (Manga) කාටූන් චරිතවලට සමානව හැඩගැසුණු ‘කොස්ප්ලේ’ (Cosplay) ලෝලීන් සිය වර්ණවත් ඇඳුම් නිර්මාණ ප්‍රදර්ශනය කරමින් උද්‍යානය පුරා සැරිසැරීම මෙහිදී දැකගත හැකි වූ සුවිශේෂී දසුනකි. කෙටි දින කිහිපයක් පමණක් පිපී තිබෙන මෙම රෝස සහ සුදු පැහැති චෙරි මල් නැරඹීම සඳහා සෑම වසරකම වසන්ත කාලයේදී බර්ලින් නගරයට විශාල සංචාරක ආකර්ෂණයක් හිමි වේ.














