බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී රුපියල් කෝටි 620කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් හයදෙනා ලබන 7 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) අවසර ලබා දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
විදෙස් බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අදාළ යාත්‍රාව තුළ උරවල අසුරන ලද පැකට් 298ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානීන් සහ මෙරට බෙදාහැරීමේ ජාලය පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතය. මෑත කාලීනව මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස මෙය සැලකෙන අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පවතින සබඳතා පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක වේ.














