කාශ්මීර නිම්නයේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම් මෙහෙයවූ ශ්‍රීනගර් මූලස්ථානය කරගත් ‘XV Corps’ (Chinar Corps) බලකායේ හිටපු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) සයිඩ් අටා හස්නයින් බිහාරයේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. බිහාරයේ දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පවතින මොහොතක ආරක්ෂක අංශවල විශේෂ අවධානයට ලක්ව ඇති සීමාංචල් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම පත්වීමේ ප්‍රධාන අරමුණක් බව විචාරකයෝ පවසති.
මෙම පත්වීම පිටුපස ඇති උපායමාර්ගික හේතු කිහිපයක් මෙසේය. බිහාරයේ කිෂාන්ගන්ජ්, අරාරියා, පූර්නියා සහ කාටිහාර් යන දිස්ත්‍රික්කවලින් සමන්විත සීමාංචල් කලාපය බංග්ලාදේශ දේශසීමාවට සහ ඉන්දියාවේ ප්‍රධාන භූමිය ඊසානදිග ප්‍රාන්ත සමඟ සම්බන්ධ කරන “සිලිගුරි කොරිඩෝවට” ඉතා සමීපව පිහිටා ඇත. නිතීෂ් කුමාර් මහ ඇමති ධුරයෙන් ඉවත් වීමත් සමඟ මීට පෙර පැවති දේශපාලන බාධාවන්ගෙන් තොරව නීතිවිරෝධී සංක්‍රමණික ජාලයන්ට එරෙහිව පරීක්ෂණ මෙහෙයවීමට මධ්‍යම රජයේ ආරක්ෂක අංශවලට අවස්ථාව ලැබී ඇති බව බලධාරීන් විශ්වාස කරයි. මීට පෙර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා සීමාංචල් කලාපයේ දින තුනක සංචාරයක නිරත වෙමින් එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කළේය. දේශසීමා උල්ලංඝනය කිරීම් සහ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ දශක හතරක අත්දැකීම් ඇති හස්නයින් මහතාගේ පත්වීම හරහා ප්‍රාන්ත පරිපාලනය සහ මධ්‍යම රජයේ ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.














