ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ වත්කම් කළමනාකරණ ආයතනයක් වන Bitwise හි ප්‍රධාන ආයෝජන නිලධාරී මැට් හෝගන් (Matt Hougan) පවසන පරිදි, දිගුකාලීනව බිට්කොයින් ඒකකයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියනය ඉක්මවා යාමේ හැකියාවක් පවතී. ඔහු පෙන්වා දෙන්නේ මෙය ඉතා සුබවාදී බලාපොරොත්තුවකට වඩා “සංරක්ෂණශීලී තත්ත්වයක්” (Conservative scenario) ලෙස තමන් සලකන බවයි.
ලොව පුරා වත්කම් සුරක්ෂිතව තබා ගැනීමේ වෙළඳපොළ (Store-of-value market) දැනට ඩොලර් ට්‍රිලියන 40ක් පමණ වන අතර, එයින් සිංහ භාගයක් හෙවත් ඩොලර් ට්‍රිලියන 38ක්ම හිමිව ඇත්තේ රත්තරන් සඳහාය. බිට්කොයින් සතුව ඇත්තේ ඩොලර් ට්‍රිලියන 1.4ක පමණ කොටසකි. එනම් මුළු වෙළඳපොළෙන් 4% – 5%ක් පමණි. මැට් හෝගන් පවසන්නේ 2035 වසර වන විට මෙම වෙළඳපොළ තවදුරටත් වර්ධනය වී බිට්කොයින් එහි 15%ක පමණ කොටසක් අත්පත් කරගත්තද, එහි මිල ඩොලර් මිලියනය දක්වා ඉහළ යන බවයි.
එමෙන්ම බිට්කොයින් වෙළඳපොළ කොටස 30%ක් දක්වා වර්ධනය වුවහොත් එහි මිල ඩොලර් මිලියන 2කට ආසන්න විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි. මෙය කෙටි කාලීන මිල ඉහළ යාමක් නොව වසර 10ක පමණ කාලයක් තුළ සිදුවන ක්‍රමික වර්ධනයක් වනු ඇති බවත්, මීට වසර 20කට පෙර රත්තරන් සඳහා වූ ඉල්ලුම වර්තමානයේ බිට්කොයින් වැනි “ඩිජිටල් රත්තරන්” (Digital Gold) වෙත යොමු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම හාවඩ් විශ්වවිද්‍යාලයීය අරමුදල සහ අබුඩාබි ස්වෛරී අරමුදල වැනි ආයතනික ආයෝජකයන් බිට්කොයින් වෙත යොමු වීම මෙම වර්ධනයට ප්‍රබල හේතුවක් වනු ඇත.














