බියගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැස්කරන ලද විශාල ඩීසල් තොගයක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී ඩීසල් ලීටර් 19,060ක් ප්‍රවාහනය කරමින් තිබූ බෝසර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් මාර්ගයේ ගමන් කරන ලොරි රථ, ටිපර් රථ සහ පුද්ගලික වාහනවල රියදුරන්ට මුදල් ලබා දී එම වාහනවල ඉන්ධන ටැංකිවලින් සූක්ෂ්ම ලෙස ඩීසල් ලබාගෙන ඇති බවයි. මෙලෙස බලපත්‍ර නොමැතිව එකතු කරගන්නා ඉන්ධන සැකකරුවන් විසින් සකස් කරන ලද විශේෂ ටැංකිවල ගබඩා කර පසුව ලාභ පරමාර්ථයෙන් අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී ඉන්ධන නිස්සාරණය කිරීමට භාවිතා කළ මෝටර් දෙකක්, යකඩ බැරල් 16ක් සහ නීතිවිරෝධී ගනුදෙනු හරහා උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 381,000ක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 20, 22, 32 සහ 42 යන වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙලුන්දෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් හෙට (මාර්තු 13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














