කැලිෆෝනියාවේ පැවැත්වෙන ‘BNP Paribas Open’ හෙවත් ඉන්ඩියන් වෙල්ස් මාස්ටර්ස් ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී බ්‍රිතාන්‍යයේ බලාපොරොත්තුව වූ ජැක් ඩ්‍රේපර් සහ කැමරන් නොරී යන දෙදෙනාම පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත් වී තිබේ. පසුගිය වසරේ (2025) මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් ජැක් ඩ්‍රේපර්ට මෙවර සිය කිරුළ රැක ගැනීමට නොහැකි වූයේ රුසියාවේ ඩැනියෙල් මෙඩ්වඩෙව් හමුවේ ලැබූ පරාජයත් සමඟිනි.
ජැක් ඩ්‍රේපර් සහ මෙඩ්වඩෙව් අතර පැවති තරගය දැඩි මතභේදාත්මක තීරණයක් සමඟින් නිමා විය. තරගයේ දෙවන වටයේ තීරණාත්මක මොහොතක ඩ්‍රේපර් අතින් සිදුවූ බව කියන බාධා කිරීමක් (hindrance) පදනම් කරගනිමින් විනිසුරුවරයා ලබාදුන් තීරණය ප්‍රේක්ෂකයන්ගේ පවා දෝෂදර්ශනයට ලක් විය. අවසානයේ වට 6–1ක් සහ 7–5ක් ලෙස මෙඩ්වඩෙව් තරගය ජයග්‍රහණය කළේය. ඩ්‍රේපර් විනිසුරු තීරණය පිළිබඳව සිය අකමැත්ත ප්‍රකාශ කළ ද, තරගයෙන් පසු ඔහු එය පිළිගැනීමට කටයුතු කළේය.
මේ අතර, ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක කාලෝස් අල්කරාස් හමුවේ බ්‍රිතාන්‍යයේ කැමරන් නොරී ද පරාජය විය. අල්කරාස් විසින් වට 6–3ක් සහ 6–4ක් ලෙස නොරී පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. පසුගිය වසරේ පැරිස් මාස්ටර්ස් තරගාවලියේදී නොරී හමුවේ අල්කරාස් පරාජය වී තිබුණ ද, මෙවර තරගයේදී අල්කරාස් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් තරගය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.














