තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතාගේ සහ ඔහුගේ බිරිඳ වන නිසංසලා මහත්මියගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා පිටිගල, ගොඩාමුණ පිහිටි ඔවුන්ගේ නිවස වෙත අද (පෙබරවාරි 15) රැගෙන ගොස් තිබේ. අද උදෑසන සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහයන් වෙත විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූ අතර, ඉන් අනතුරුව මෙලෙස උපන්ගම් බලා රැගෙන යාමට කටයුතු කෙරිණි.
පසුගිය සිකුරාදා (13) පස්වරුවේ අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක රථගාලේදී සිදුවූ මෙම ද්විත්ව ඝාතනය මුළු රටම කැළඹූ සිදුවීමක් විය. මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි භාවිත කර මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි. ඝාතනයට ලක්වන විට නීතිඥවරයා 44 වැනි වියේ පසුවූ අතර ඔහුගේ බිරිඳ 42 වැනි වියේ පසුවිය.
මෙම ආන්දෝලනාත්මක ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයා ලබාදුන් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මේ වන විට විමර්ශන මෙහෙයවනු ලබයි. මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන රථය ගාල්ල ප්‍රදේශයේදී ගිනිබත් කර තිබියදී සොයාගැනීමත් සමඟ අපරාධකරුවන් කොටුකර ගැනීමට පොලිසිය දැඩි මෙහෙයුමක් දියත් කර තිබේ.














