මාතර කොටුව තුල පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ පසුගිය 06 වනදා උදෑසන කාලයේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරින් විසින් විදුලි රැහැන් කණුවක් සිටුවීමට වලක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
එම අස්ථි කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැනුවත් කර ඇත. පසුව පොලිසිය විසින් මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ. මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ තැන්පත් කර තිබු අස්ථි කොටස් හා කැණිම් කල ස්ථානය මාතර මහේස්ත්‍රාත් පරික්ෂා කර තිබේ.
මිනිස් අස්ථි කොටස්, පෝසිලේන් කොටස්, දුම් බටයක් හා මැටි භාණ්ඩ කොටස් කිහිපයක් මෙලෙස හමු වී ඇති අතර එම කොටස් කෞතුකාගාරයේ තබන ලෙස අධිකරණය විසින් දැනුම් දී ඇත.
මෙම අස්ථි කොටස් හමු වු ස්ථානයේ තවදුරටත් කැණිම් කිරීම සඳහා පුරා විද්‍යා නිලදාරින් හට නියෝග කර ඇත. මෙම දේපල සහ අස්ථි කොටස් ලන්දේසි යුගයට අයත් බවට පුරා විද්‍යා නිලධාරින් විසින් පවසා ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.
ඡායාරුප – අන්තර්ජාලයෙන්