බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හත් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ නව බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ (11) රාත්‍රියේ මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත්තේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.
මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියන් අතර මෙරට ප්‍රබල ගණයේ අපරාධකරුවන් රැසක් සිටින බව වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි එලෙස මාරු කර ඇති පිරිස වන්නේ ලොකු පැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, දෙමටගොඩ චමින්ද, ආමි සම්පත්, මන්නා රමේෂ් සහ වෙලේ සුදා යන අයයි.
මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීමට හේතුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, බන්ධනාගාර තුළ ආරක්ෂාව තහවුරු කිරීම සහ පාලන කටයුතු පහසු කිරීමේ අරමුණින් වරින් වර මෙවැනි මාරු කිරීම් සිදුකරනු ලබයි. අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිට සාමාන්‍ය බන්ධනාගාර සංකීර්ණයක් වෙත මෙවැනි ප්‍රබල අපරාධකරුවන් පිරිසක් මාරු කිරීම පිළිබඳව ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමුව තිබේ.
උත්සව සමයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන පසුබිමක, බන්ධනාගාර පරිපාලනය තුළ සිදුවූ මෙම වෙනස්කම කැපී පෙනෙන සිදුවීමකි.













