පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන පද්ධතිය රුපියල් බිලියනය ඉක්මවූ ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සංචාරක ක්ෂේත්‍රයේ ඇති වූ පිබිදීම සහ මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යාම මෙම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ
පසුගිය වසරේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද, උද්භිද උද්‍යාන මගින් රුපියල් බිලියන 1.394ක ආදායමක් උපයා ඇත. මෙය 2024 වසරේ ආදායම හා සැසඳීමේදී 07%ක සැලකිය යුතු වර්ධනයකි. උද්‍යාන නැරඹීම සඳහා අයකරන ඇතුල්වීමේ ගාස්තු, ශාක අලෙවිය සහ උද්‍යාන පරිශ්‍රයන්හි සපයනු ලබන අනෙකුත් සේවාවන් මෙම ආදායම ඉහළ නැංවීමට දායක වී ඇත.
පසුගිය වසර තුළ සමස්තයක් ලෙස සංචාරකයන් මිලියන දෙකකට අධික පිරිසක් දිවයිනේ උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණ තිබේ. එහිදී පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පමණක් නරඹන්නන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ (හේනරත්ගොඩ) උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්‍යානය මෙම ආදායම් වාර්තාවන් සඳහා දායක වී ඇත.
මෙම වර්ධනය මෙරට ආර්ථික ක්‍රියාවලියට සහ සංචාරක ඉපැයීම්වලට උද්භිද උද්‍යාන මගින් ලබාදෙන සුවිශේෂී දායකත්වය මනාව පෙන්නුම් කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














