බ්‍රැඩ්ෆර්ඩ් (Bradford) නුවරදී සිය හිටපු සහකාරියගේ සහෝදරිය සහ ඇයගේ දරුවන් තිදෙනා නිවසට ගිනි තබා ඝාතනය කළ පුද්ගලයෙකුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් (Whole-life order) නියම කර තිබේ. 2024 අගෝස්තු මාසයේදී සිදුවූ මෙම බිහිසුණු අපරාධයෙන් 29 හැවිරිදි බ්‍රයෝනි ගැවිත් (Bryonie Gawith) සහ ඇයගේ දරුවන් තිදෙනා වන ඩෙනිස්ටි (9), ඔස්කාර් (5) සහ ඕබ්‍රි (මාස 22) ජීවිතක්ෂයට පත් වූහ.
අපරාධකරු වන ශරාස් අලි (Sharaz Ali), මෙම ගිනි තැබීම සිදු කර ඇත්තේ බ්‍රයෝනිගේ සහෝදරිය වන ඇන්ටෝනියා ඔහු සමඟ පැවති සබඳතාවය නතර කිරීම නිසා ඇති වූ වෛරය පදනම් කරගත් පලිගැනීමක් වශයෙනි. අධිකරණය හමුවේ අදහස් දක්වමින් ඇන්ටෝනියා සඳහන් කළේ, මෙම ප්‍රහාරයේ සැබෑ ඉලක්කය තමන් බව දැන සිටීම තමන්ව දැඩි ලෙස පීඩාවට පත් කරන බවත්, කිසිදු දඬුවමකට තමන් විඳින වේදනාව සුව කළ නොහැකි බවත්ය.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් සහ නිවසේ දොර කඩා දැමීමට සහාය වූ කැලුම් සන්ඩර්ලන්ඩ් (Calum Sunderland) නමැත්තාට ද වසර 18 ක අවම සිරදඬුවමක් සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවැනි “Whole-life order” දඬුවමක් බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය තුළ ලබා දෙන්නේ අතිශය බරපතළ සහ අමානුෂික අපරාධකරුවන්ට පමණක් බවයි.














