ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වෙන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් පරස්පර ප්‍රකාශ නිකුත් වීමත් සමඟ, ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල යළිත් බැරලයක් ඩොලර් 100 සීමාවෙන් ඉහළට ගොස් තිබේ. අද (24) ආසියානු වෙළඳපොළේ තෙල් මිල 4% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 103.94 ක් ලෙස සටහන් විය.
සඳුදා දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉරානය සමඟ “ඵලදායී” සාකච්ඡා පවත්වන බැවින් එරට විදුලි බලාගාර වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර කල් දමන බවයි. මෙම ප්‍රකාශයත් සමඟ තෙල් මිල 10% කින් පමණ පහළ වැටුණද, තමන් ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක නිරත නොවන බවත් එම ප්‍රකාශ වෙළඳපොළ හැසිරවීමේ උත්සාහයක් බවත් පවසමින් ඉරානය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇත.














